Like us in facebook

Friday, September 23, 2011

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2012 අත්දැකීම් බහුල ශ්‍රී ලංකාව තරගාවලිය සාර්ථකව පවත්වාවි - අයි. සී. සී. ප්‍රධාන විධායක


ලෝක කුසලාන තරගාවලියේ තරග රැසක් සාර්ථකව සංවිධානය කළ ශි‍්‍ර ලංකාව විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියද සාර්ථකව පවත්වනු ඇතැයි විශ්වාස කරන බව අයි. සී. සී. ප්‍රධාන විධායක හරූන් ලොගර්ට් මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා එසේ පැවසුවේ ලබන වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ඕවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල ලාංඡනය නිරාවරණය කිරීම සහ තරග කාලසටහන එළිදැක්වීම පෙරේදා කොළඹ ඉන්ටකොන්ටිනල් හෝටලයේදී පැවැති අවස්ථාවේදීය.
එමෙන්ම මෙවර තරගාවලියේදී කාන්තා හා පිරිමි පිළිමළුන් පිටු දැකීමේ තරග වටය එකම දිනවල එකම පිටියක පැවැත්වීම විශේෂත්වයක් බවද ඒ මහතා පැවැසීය.
තරගාවලියේ නිලලාංඡනය නිරාවරණය කිරීම හා කාලසටහන එළිදැක්වීම ඉතා විචිත්‍රවත් අන්දමින් සිදු කෙරුණු අතර එය උත්සවයට පැමිණ සිටි අමුත්තන් අමන්දානන්දයට පත්කළ සිදුවීමක් විය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටු සභාපති උපාලි ධර්මදාස මහතා පැවැසුවේ 2012 වසරේදී ඕවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකාව තෝරා ගැනීම පිළිබඳ සතුටට පත්වන බවය. එමෙන්ම එම තරගාවලිය අභිමානවත් ලෙස නිමකිරීමට අවශ්‍ය සියළු කටයුතු යොදන බවත් සභාපති වරයා පැවසීය.
සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රථම තරගය සිම්බාබ්වේ සමඟ 2012 සැප්තැම්බර් මස 18 වැනි දින පැවැත්වේ. දිවා/රාත්‍රී මේ තරගය හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වේ.
මේ තරගාවලියේ ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අයත්ව සිටින්නේ ‘සී’ කාණ්ඩයටය.
දකුණු අපි‍්‍රකාව එම කොටසේ අනෙක් කණ්ඩායම වෙයි. තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකා පිලේ අනෙක් තරගය දකුණු අපි‍්‍රකාව සමඟ පැවැත්වීමට නියමිතව ඇත්තේ 2012 සැප්තැම්බර් 22 වැනි දිනය.
එම තරගය පැවැත්වෙන්නේ ද හම්බන්තොටය. ‘සී’ කොටසේ අනෙක් මූලික තරගය වන දකුණු අපි‍්‍රකාව හා සිම්බාබ්වේ අතර ගැටුම 2012 සැප්තැම්බර් 20 වැනි දින හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ම පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව ‘සුපිරි අට’ වටයට පිවිසුනහොත් ඔවුන් පල්ලෙකැලේ ක්‍රීඩාංගණය වෙත යනු ඇත. අනතුරුව පිළිමළුන් පිටුදැකීමේ තරග වටයට සුදුසුකම් ලැබුවහොත් ශ්‍රී ලංකා පිල කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයට පිවිසෙනු ඇත.
පසුගිය වසරේ ලෝක කුසලාන විස්සයි20 තරගාවලියේ සූරයන් වූ එංගලන්තය ඔවුන්ගේ ප්‍රථම තරගය මේ තරගාවලියට සුදුසුකම් ලබන කණ්ඩායමක් සමඟ 2012 සැප්තැම්බර් 21 වැනි දින ආර්. පේ‍්‍රමදාස පිටියේදී ක්‍රීඩා කරනු ඇත. ඉන් දින දෙකකට පසුව එංගලන්තය 2007 ලෝක සූර ඉන්දියාව සමඟ එම ක්‍රීඩාංගණයේදී ම තරග වදිනු ඇත.
2009 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සූරයන් වූ පාකිස්තානය ඔවුන්ගේ මූලික තරග නවසීලන්තය හා බංග්ලාදේශය සමඟ පිළිවෙළින් සැප්තැම්බර් 23 හා 25 දිනවල පල්ලෙකැලේදී ක්‍රීඩා කරනු ඇත.
පිළිමළුන් පිටු දැකීමේ තරගාවලියට පෙර පැවැත්වෙන තරගවලදී සියල්ල සාමාන්‍ය ලෙස සිදුවුවහොත්, ඉන්දියාව සහ පාකිස්තානය සුපිරි කණ්ඩායම් 8 අතරට තේරී, සැප්තැම්බර් 30 වැනි ඉරිදා කොළඹ දී තරග වදිනු ඇත.කාන්තා තරගාවලිය ඇරඹෙන්නේ ගාල්ලෙනි. එහි ආරම්භක තරගය ලෙසින් සත්කාරක ශ්‍රී ලංකාව, තරගාවලියේ සුදුසුකම් ලද කණ්ඩායමක් සමඟ සැප්තැම්බර් 26 වෙනිදා තරග වදිනු ඇත. එදිනම පසුගිය වසරේ අවසන් තරගයේදී පරාජිතයන් වූ නවසීලන්ත කාන්තා පිල, බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල සමඟ තරග වැදීමට නියමිතය.
ඔස්ට්‍රේලියානු කාන්තා පිල ඔවුන්ගේ තරග ආරම්භ කරනුයේ, සැප්තැම්බර් 27 වෙනිදා ඉන්දියාව සමඟ ගැටීමෙනි.
එදිනම 2009 ජයග්‍රාහිකාවන් වූ එංගලන්ත පිල සුදුසුකම් ලද අනෙක් පිල සමඟ තරග වදිමින් සිය ගමන ආරම්භ කිරීමට නියමිතය.
පිරිමි තරග 27 ක් සහ කාන්තා තරග 15 ක් වශයෙන් වූ තරග 42 ක් දින 20 ක් ඇතුළතදී, ක්‍රීඩාංගණ 4 කදී පැවැත්වෙනු ඇත.
කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ, හම්බන්තොට සහ ගාල්ලේ පිහිටි ක්‍රීඩාංගණ එයට අයත් වෙයි.
මින් ඔක්තෝබර් 7 වෙනි ඉරිදාට නියමිත අවසාන මහා තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

තරගාවලිය සඳහා සහභාගි වන පිරිමි කණ්ඩායම් ‘ඒ’, ‘බී’, ‘සී’ සහ ‘ඩී’ කාණ්ඩ යටතේ තරග වදිති.
‘ඒ’ කාණ්ඩය – එංගලන්තය, ඉන්දියාව හා සුදුසුකම් ලබාගන්නා 2 කණ්ඩායම.
‘බී’ කාණ්ඩය – ඔස්ටේ‍්‍රලියාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත් හා සුදුසුකම් ලබාගන්නා 1 කණ්ඩායම.
‘සී’ කාණ්ඩය - ශ්‍රී ලංකාව, දකුණු අපි‍්‍රකාව, සිම්බාබ්වේ.
‘ඩී’ කාණ්ඩය – පාකිස්තානය, නවසීලන්තය, බංග්ලාදේශය
කාන්තා කණ්ඩායම් ‘ඒ’ හා ‘බී’ කාණ්ඩ යටතේ තරග වදිති.
‘ඒ’ කාණ්ඩය – ඔස්ටේ‍්‍රලියාව, ඉන්දියාව, එංගලන්තය හා සුදුසුකම් ලබන 1 කණ්ඩායම.
‘බී’ කාණ්ඩය – නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් දූපත්, ශ්‍රී ලංකාව, සුදුසුකම් ලබන 2 කණ්ඩායම

No comments:

Post a Comment

Total Pageviews