Like us in facebook

Monday, August 22, 2011

"කියා දුන්නට පිට්‌ටනියට ගිහිල්ල බැට්‌ කරන්න මට බැහැ" -පිතිකරණ පුහුණුකරු මාවන් අතපත්තු

පිතිකරුවන්ගේ අසාර්ථකත්වයේ වගකීම භාරගත්තත් ක්‍රීඩා පිටියට ගොස්‌ පන්දුවට පහරදීමට හැකියාවක්‌ නැති බව ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පිතිකරු පුහුණුකරු මාවන් අතපත්තු ඔස්‌ටේ්‍රලියාව හමුවේ ශ්‍රී ලංකාව එක්‌දින තරගාවලිය පරාජය වීමෙන් අනතුරුව පැවසීය.

"මට පුලුවන් හැම දෙයක්‌ම පුහුණුකරු විදිහට පුහුණුවීම්වලදීත් ක්‍රීඩාගාරයේදීත් පිතිකරුවන්ට උපරිමයෙන් කියා දුන්නා. නමුත් ඔවුන් ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව සෑහීමකට පත්වෙන්න බැහැ. පිතිකරු පුහුණුකරු හැටියට මට පුලුවන් කියා දෙන්න විතරයි. නමුත් තරගයකදී බැට්‌ කරන්න මට පුලුවන් කමක්‌ නැහැ." යනුවෙන් මාවන් අතපත්තු ශ්‍රී ලංකා පරාජයෙන් පසුව පැවසීය.

ඔස්‌ටේ්‍රලියාව සමග පැවැති එක්‌දින තරගාවලියේ පරාජයට ප්‍රධාන සාධකය පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට නොහැකිවීම සහ ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පිතිකරුවන් ශක්‌තිමත් විය යුතු ආකාරය පිළිබඳවත් මාවන් එහිදී අදහස්‌ දැක්‌වීය.

"අපේ මැද පෙළ පිතිකරුවන් තවම හොඳ තැනක නැහැ. හැම තිස්‌සෙම ලකුණු ගන්න දෙන්නෙක්‌ හෝ තුන්දෙනෙක්‌ හින්ද තමයි තරග දිනන්නෙ. එහිදී ලකුණු අතර සිටින පිතිකරුවන්ටත් මානසික පීඩනයක්‌ වෙනවා. කණ්‌ඩායමේ සංයුතිය ගැන මට අදහස්‌ කියන්න බැහැ. මට තියෙන්නෙ ලැබෙන කණ්‌ඩායම පුහුණු කිරීමේ වගකීම පමණයි. තේරීම් කමිටුව නම් කළ කණ්‌ඩායම ගැන අදහස්‌ කියන්න මට බැහැ. මම කරන්නෙත් රැකියාවක්‌. ඒත් අපි හොඳ පිතිකරුවන් සොයා ගන්න ටිකක්‌ ඉවසීමෙන් බලා ඉන්න වෙනවා. හොඳට කරන තරුණ ක්‍රීඩකයන් කණ්‌ඩායමට ගෙනල්ල ඔවුන්ට නිදහසේ ක්‍රීඩා කරන්න අදහස දීල බලන්න ඕන කවුද ගැලපෙන සංයුතිය කියල. අපිට එක පාරටම අර්ජුන, අරවින්ද, හෂාන් සහ රොෂාන් වගේ පිතිකරුවන් හතර පහක්‌ හොයා ගන්න බැහැ. ඒ වෙනුවෙන් කාලයක්‌ අවශ්‍යයි." යනුවෙන් මාවන් වැඩිදුරටත් අදහස්‌ දැක්‌වීය.

එක්‌දින තරගාවලියේ පරාජයට මැද පෙළ පිතිකරුවන් ශක්‌තිමත් නොවීම ප්‍රබල සාධකයක්‌ බව ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් පවසයි. "අපි හැමදාම තරගයක්‌ දිනන්නෙ මුල් පෙළ පිතිකරුවන් ලකුණු ගැහුවොත් විතරයි. අවාසනාවකට තවම අපිට හොඳ මැද පෙළ පිතිකරුවන් නැහැ. මේක අපි ඉක්‌මනින් හදා ගන්න ඕන. අපේ අවුරුදු 19 න් පහළ හෝ ශ්‍රී ලංකා "ඒ" සංචිතයේ හෝ පිතිකරුවන් කිහිප දෙනෙක්‌ ගෙනල්ල ඉස්‌සරහට ඉදිරියට යන්න වෙනවා. එහෙම නැතිව අපිට ශක්‌තිමත් මැද පෙළක්‌ හදාගන්න අමාරු වෙයි. මැද පෙළ පිතිකරුවන් ශක්‌තිමත් නොවී තරග දිනන්න අමාරුයි. අපි හැමදාම තරගයක්‌ දිනන්නෙ ඉදිරි පෙළ පිතිකරුවන් ලකුණු ගැහුවොත් විතරයි."යනුවෙන් ඩිල්ෂාන් සිය කණ්‌ඩායමේ පරාජය පිළිබඳව ඩිල්ෂාන් අදහස්‌ දැක්‌වීය.

දිනේෂ් චන්දිමාල් එංගලන්තයේදී ලකුණු අතර සිටියත් ඔස්‌ටේ්‍රලියානු පන්දු යවන්නන් හමුවේ ඔහු එකම ආකාරයකට දැවී යාම හේතුවෙන් කණ්‌ඩායමෙන් ඉවත් කළ බව ඩිල්ෂාන් පවසයි. "චන්දිමාල්ව අපි ඉවත් කළේ ඔහුගේ තිබෙන තාක්‍ෂණික අඩුපාඩුවක්‌ හින්ද. ඔහු ඒ දේ හරි ගස්‌සගෙන ඉදිරි තරගවලට සහභාගි වෙයි. ඔස්‌ටේ්‍රලියාව සමග පැවැති 20-20 තරගවල ඉදල චන්දිමාල් දැවී ගියේ එකම ආකාරයකට. නමුත් තවදුරටත් ඔහුට පීඩනයක්‌ නොදී හොඳින් පුහුණුවීම් කරල ඒ වැරැද්ද නිවැරදි කරගෙන ඉදිරි තරගවලට සහභාගි වෙන්න අවස්‌ථාව ලබා දී තියෙනවා." යනුවෙන් චන්දිමාල් පිළිබඳව ශ්‍රී ලංකා නායකයා අදහස්‌ දැක්‌වීය.

No comments:

Post a Comment

News

Total Pageviews