Like us in facebook

Friday, August 26, 2011

මැද පෙළ පණ නැති ක්‍රිකට්‌ කණ්‌ඩායමේ අනාගතය අඳුරුය!


රැ වැටුන වළේ දවල් වැටීම යන උපමාව ශ්‍රී ලංකා පිතිකරුවන්ට මේ දිනවල කදිමට ගැලපෙයි. මග පෙන්වන්නෙක්‌ සිටියදීත් ඔවුහු වළක වැටුණා මෙනි. ''මට පුලුවන් කියා දෙන්න විතරයි. මගේ උපරිමය මම ඔවුන්ට දුන්නා. නමුත් පිට්‌ටනියට ගිහිල්ල බැට්‌ කරන්න මට බැහැ. අපේ පිතිකරුවන් පන්දුවට පහර දුන් අයුරු කිසිසේත් සෑහීමකට පත්වෙන්න බැහැ.'' යනුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ මග පෙන්වන්නා හෙවත් ශ්‍රී ලංකා පිතිකරු පුහුණුකරු මාවන් අතපත්තු එසේ පවසා සිටියේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දැඩි දුර්වල පිතිහරඹය හමුවේ ඔස්‌ටේ්‍ර්‍රලියාව සමග පැවැති එක්‌දින තරගාවලිය 3-2 ක්‌ ලෙස පරාජය වීමෙන් පසුවය. ශ්‍රී ලංකා පිතිකරුවෝ සමස්‌තයක්‌ ලෙස දැක්‌වූ දුර්වල පිතිහරඹයේ තරම හොඳින්ම දන්නා පුද්ගලයා ද ඔහුමය.

ඔස්‌ටේ්‍රලියානුවන් පහසුවෙන් පරාජය කරමින් එක්‌දින තරගාවලි ජයග්‍රහණය සහ අන්තර්ජාතික එක්‌දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්‌ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ අවස්‌ථාව මග හැරී ගියේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය බව ඔස්‌ටේ්‍රලියානු පරාජය හමුවේ පැහැදිලිව පෙනෙන කරුණකි. එබැවින් ශ්‍රී ලංකා නායක ඩිල්ෂාන් සහ මාවන් එක හෙළා ප්‍රකාශ කර සිටියේ, ''අවු( 19 න් පහළ කණ්‌ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනකු හෝ කණ්‌ඩායමට ගෙනල්ල ඉදිරිය වෙනුවෙන් ලක ලැහැස්‌ති වීමට දැන් කාලය ඇවිල්ල තියෙනවා. අපේ මැද පෙළ දිගින් දිගටම දුර්වලයි. මෙවැනි මැද පෙළක්‌ සමග තරග දිනන්න අමාරුයි.'' යනුවෙනි.

දෙරට අතර පැවැති සමස්‌ත එක්‌දින තරගවලියේදී ශ්‍රී ලංකා පිතිකරුවන් 45 දෙනෙක්‌ දැවී රැස්‌ කර ඇත්තේ ලකුණු 1030 ක්‌ වන අතර ඔස්‌ටේ්‍රලියාව පිතිකරුවන් 30 ක්‌ දැවී රැස්‌ කර ඇත්තේ ලකුණු 955 කි. ශ්‍රී ලංකාවට හුරු පුරුදු තණතීරුවල ශ්‍රී ලංකාවේ කඩුල්ලක්‌ දැවීයාමේ ප්‍රතිශතතය ලකුණු 22.88 ක්‌ වැනි පහළ අගයක්‌ ගනිද්දී ඔස්‌ටේ්‍රලියානුවන්ගේ කඩුල්ලක්‌ දැවී යාමේ සම්භාවිතාව ලකුණු 31.83 ක්‌ වැනි අගයක්‌ පැවතීමෙන් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලත්වය මැනවින් පිළිඹිඹු වේ. ශ්‍රී ලංකාවේ අදාළ පරාජය පිතිකරුවෝ උගසට තැබූ පරාජයක්‌ ලෙසද හැදින්විය හැකිය. සමස්‌ත තරගාවලියේදී ශ්‍රී ලංකා පිතිකරුවන් බහුතරයක්‌ අවශ්‍යම මොහොතේදී දැවී ගියේ බාලාංශ පිතිහරඹවල නිරත වීමට ගොසිනි. තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට අවශ්‍යම වූ සිව්වැනි තරගයේදීS සංගක්‌කාර, මැතිව්ස්‌, චාමර සිල්වා දැවී ගියා නොව කඩුලු පූජා කළා වැනිය. සමස්‌ත තරගාවලියේදී සියලුම පිතිකරුවන් දිගින් දිගටම ඔස්‌ටේ්‍ර්‍රලියාවට කඩුලු විසි කළහ.

එහෙත් ඔස්‌ටේ්‍රලියානුවන් ඉතාමත් සැලසුම්කාරීව තරගාවලිය ආරම්භයේ සිටම ජයග්‍රහණය වෙනුවෙන් පිතිකරණයේ යෙදිණි. ඔවුන් පුහුණු වීම්වලදි හෝ අනවශ්‍ය පහරවල් කරා නොගොස්‌ තරගයක ආකාරයෙන් පුහුණු සැසිවල යෙදිණි. කිසිදු විටක ඔවුහු කඩුලු විසි නොකළහ. ඔස්‌ටේ්‍ර්‍රලියානු පිතිකරුවෝ ශ්‍රී ලංකා දඟ පන්දු යෑවීම හමුවේ පන්දුවට පහරදීම අභියෝගයක්‌ ලෙස සලකමින් ක්‍රීඩා කළද ශ්‍රී ලංකා පිතිකරුවෝ ලොව එක්‌දින අංක එකේ කණ්‌ඩාමට එරෙහිව ක්‍රීඩා කළ ආකාරය බාලාංශ මට්‌ටමේ විය. එබැවින් ඔස්‌ටේ්‍රලියානු නායක මයිකල් ක්‌ලාක්‌ තම ජයග්‍රහණය පිළිබඳව පවසා සිටියේ, "ශ්‍රී ලංකාව තමන්ගේ මවු බිමේදී හොඳින් ක්‍රීඩා කරනවා. ඔවුන්ගේ දඟ පන්දු යෑවීම කවදත් අපිට අභියෝගයක්‌. ඒ පිළිබඳව අපේ සියලු දෙනා වැඩි අවධානයක්‌ යොමු කරමින් තමයි ක්‍රීඩා කළේ." යනුවෙනි.

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තරගාවලිය පුරාවටම සිය යුතුකම් මැනවින් ඉටු කිරීමට සමත් වූහ. එහෙත් ඔවුන්ගේ සුපිරි හැකියාවෙන් තරග දිනවීමට තරම් ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු ලබා නොදුන්හ. ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස්‌, නුවන් කුලසේකර සිය දක්‍ෂතා තවදුරටත් මුවහත් කරද්දී ආධුනිකයන් වූ ෂමින්ද එරංග සහ සීකුගේ ප්‍රසන්න ඉතාමත් හොඳින් තම ආරම්භක තරග කිහිපයේදී ක්‍රීඩා කළහ. ශ්‍රී ලංකා 'ඒ' කණ්‌ඩායම වෙනුවෙන් දක්‍ෂතා දක්‌වමින් සිටි ෂමින්ද එරංග සහ සීකුගේ ප්‍රසන්නට අවස්‌ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව කටයුතු කිරීම වැදගත් තීරණයක්‌ ලෙස හැදින්විය හැකිය. අවසන් පන්දුව තෙක්‌ සටන් කරන ශ්‍රී ලංකා කණ්‌ඩායමක්‌ බිහි කිරීමට සුදුසු නවකයන් සොයා ගැනීමද තේරීම් කමිටුව ඉදිරියේ ඇති තවත් වගකීමකි.

තරගයක්‌ ජයග්‍රහණය කිරීම සඳහා පිතිකරුවන් දෙතුන් දෙනකු ලකුණු අතරට පැමිණීම අනිවාර්ය වේ. එහෙත් ශ්‍රී ලංකාවේ මුල් පෙළ පිතිකරුවන් සිව්දෙනා අසාර්ථක වුවහොත් මැද පෙළද අසාර්ථකය. මුල් පෙළ සාර්ථක වන විටත් මැද පෙළ අසාර්ථකය. නියගයට වැහි පොදක්‌ මෙන් ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවෝ විටෙක ලකුණු රැස්‌ කරති. එය ඔවුන්ගේ පැවැත්ම උදෙසා ප්‍රයෝජනවත් වුවද ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ජයග්‍රහණයට ප්‍රමාණවත් වන්නේ කලාතුරකිනි. එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව සහ පුහුණුකරුවන්ද ඒ පිළිබඳව අවධානයෙන් ඉදිරියට කටයුතු කිරීම අනිවාර්ය සාධකයක්‌ වී තිබේ.

තම කණ්‌ඩායමට ආදර්ශයක්‌ බඳු පිතිහරඹයක නිරත වූ ඔස්‌ටේ්‍රලියානු නායක මයිකල් ක්‌ලාක්‌ සමත් තරගාවලියේදී ලකුණු 242 ක්‌ ලබා තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ අතර හිටපු නායක රිකී පොන්ටින් තම උපරිමය කණ්‌ඩායමට ලබා දෙමින් අර්ධ ශතක දෙකක්‌ සමග ලකුණු 196 ක්‌ ලබා ඔස්‌ටේ්‍රලියානු ජයග්‍රහණයට දායක විය. සිය මවුබිමේ තරග කළ ශ්‍රී ලංකාව පිතිකරුවකුට සමස්‌ත තරගාවලියේදී ලකුණු 200 සීමාව ඉක්‌මවා යැමට අපොහොසත් වීම විශේෂත්වයකි. එහිදී වැඩීම ලකුණු ලාභියා වු මහේල ජයවර්ධන අර්ධ ශතක දෙකක්‌ සමග ලකුණු 180 ක්‌ද උපුල් තරංග එක්‌ ශතකයක්‌ සමග ලකුණු 166 ක්‌ ලබා ගැනීමට සමත් විය.

පිතිකරුවන්ට, පන්දු රකින්නන්ට සහ පන්දු යවන්නන්ට වෙන වෙනම පුහුණුකරුවන් සිටිති. ඊට අමතරව ප්‍රධාන පුහුණුකරුවකුද සිටිති. එසේ සිටියදී පිතිකරුවන් දිගින් දිගටම වැරදි කරමින් තරගයක සටන්කාමී පිතිහරඹයක නියෑලිමට අපොහොසත් වේනම් පුහුණුකරුවා කුමටද? පුහුණුකරුවාගේ උපදේශය දිගින් දිගටම තේරුම් නොගන්නා පිතිකරුවා කණ්‌ඩායමකට කුමකටද යන ප්‍රශ්නයත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ඉදිරියේ ඇත. එය ලිපිය ආරම්භයේදීම මාවන් අතපත්තු සඳහන් කර ඇති වැකියෙන් තවත් පැහැදිලි වනු ඇත.

No comments:

Post a Comment

News

Total Pageviews